ඉතින් කොහොමද නිලුක්‍ෂි මේ දවස්වල මොනවද විශේෂ කටයුතු...?
මේ දවස්වල නම් 'සදා' ටෙලි නාට්‍යයේ ෂූටින් ඉවර වෙලා නිවාඩු පාඩුවේ ඉන්නවා. නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. දුරබැහැර ෂූටින් නිසා මම භාරගත්තේ නැහැ. මොකද මම වැඩිපුරම හිතන්නේ මගේ බබා ගැන නිසා.
නිලුක්‍ෂි හොරෙන්ම විවාහ වුණා නේද...?
හොරෙන්මත් නෙවෙයි. ඒත් ලොකුවට වෙඩින් එකක් කළේ නැහැ.
සැමියා ගැනත් කියමු...?
එයාගේ නම ජනක මාපිටිය. ඔහු කැමරා ශිල්පියෙක්. 'ගැහැනු ළමයි' ටෙලි නාට්‍ය කරන අතරතුරේ තමයි ජනක මුණගැසුණේ.
කලා කටයුතුවලට සැමියාගෙන් සහයෝගය තියෙනවද...?
ඔව්. මුල ඉඳන්ම ඔහු මට ලොකු සහයෝගයක් දුන්නා. අපි දෙන්නම සම වයසේ. නිතරම ඔහු විශ්වාස කරනවා මම හරි දේ කරන්නේ කියලා. මාව හොඳින් තේරුම් අරගෙන ඉන්න නිසා බලපෑම් කරන්නේ නැහැ.
බබා තාම චූටියි නේද...?
ඔව්. එයා දුලත්‍යා නිලනි. තාම අවුරුදු 2යි.
දුවත් අම්මා වගේ රංගන ශිල්පිනියක් වෙයිද...?
එයා ඇත්තටම කලාවට ළැදියි. 'සදා' ටෙලි නාට්‍යයේ තීම් සෝන්ග් එක යනකොට කොහේ හිටියත් ටී.වී. එක ළඟට දුවගෙන එනවා. මට හිතෙනවා එයා ඩාන්සින් පැත්තෙන් ඉදිරියට යයි කියලා. ඒත් ඇයට උපරිමයෙන්ම අධ්‍යාපනයත් ලබාදෙන්න කටයුතු කරනවා.
නිලුක්‍ෂි 'ගැහැනු ළමයි' ටෙලි නාට්‍යයට කලින් සම්බන්ධ වුණු නිර්මාණ මොනවද...?
මුලින්ම සම්බන්ධ වුණේ වසන්ති චතුරාණි මහත්මියගේ 'සත්ගුණාකාරය' ටෙලි නාට්‍යයට.
කොහොමද ඒ අවස්ථාව හිමිවුණේ...?
මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් හිටියේ. පේපර් ඇඩ් එකක් දැක්කා ටෙලි නාට්‍යයකට තරුණ ගැහැනු ළමයි ගන්නවා කියලා. ඇත්තටම මට රඟපාන්න ලොකු වුවමනාවක් තිබුණේ නැහැ. මම වසන්ති චතුරාණි අක්කට ගොඩක් ආසයි. සම්මුඛ පරීක්‍ෂණයට ගියේ ඇත්තටම වසන්ති අක්කව සැබෑවට දකින්න.
අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණද...?
ඇත්තටම ප්‍රධාන චරිතය හිමි වුණාම ලොකු සතුටක් දැනුණා. ඒ චරිතයට රාජ්‍ය සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් හිමිවුණා.
කුසුම්ට වඩා සදා වෙනස් නේද...?
පොඩි වෙනස්කම් වගේම සමානකම්ද තියෙනවා. කුසුම් ආදරය පරිත්‍යාග කළා ජීවිතේ සමහර දේවල් පරාජය වෙනවා. එත් සදා ජීවිතේ ආදරය හිතින් විඳින කෙනෙක්. නවීන පන්නෙට අඳින්න කැමැති කෙනෙක්. ඒ වගේම ජීවිතේ ජයගන්න උත්සාහ කරන කෙනෙක්.
කුසුම්ට සාපේක්‍ෂව සදා ලස්සන වෙලා නේද...?
ඇත්තටම මේ චරිතය ලැබුණත් සමඟම ලොකු සතුටක් දැනුණා. හැමදාම ෂූටින් ගියේ පුදුම ආසාවකින්. ෂූටින් ඉවර වෙලා ගෙදර යනකොට ඇත්තටම දුකත් හිතුණා. ලස්සන වෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති.
බාහිරෙන් මොකුත් කළේ නැද්ද...?
මම සැලුන් යන්න, ෆේෂල් කරන්න උනන්දුවක් නැහැ. ඒත් කහ, කොහොඹ වගේ දේවල් ගෙදරදී භාවිත කරනවා. මම වැඩිපුර පලතුරු කනවා.
ඇත්තටම ලොකු අභියෝගයක්. මීට කලින් මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, දුලීකා මාරපන වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියන්ගෙත් එවැනි චරිත දැකලා තිබුණට ගොඩක් දුර්ලභ චරිතයක්. ඒත් තවදුරටත් අභියෝගයක් කරගත්තේ නැතිව එයට මුහුණ දුන්නා.
එවැනි චරිතයක් බලාපොරොත්තු වෙලාද හිටියේ....?
බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. එහෙත් ඒ චරිතය ලැබුණට පස්සේ ගොඩක් ආස වුණා. ජීවිතය අඩුපාඩු තිබෙන කෙනෙක් ජීවිතය ජයගන්න ගත්ත උත්සාහය සමාජයට පණිවුඩයක්.
සදා නාට්‍යයෙන් පස්සේ ප්‍රේම ආරාධනා ලැබුණේ නැද්ද...?
තාම නෑ. අනික හැමෝම දන්නවා මම විවාහකයි කියලා.
තරුණ විවාහක නළු නිළියන් අතර දික්කසාදවීම් බහුලව සිදුවුණා. ඒ ගැන අදහසක් තියෙනවද...?
මම එයාලට හරි කියලාවත් වැරැදි කියලාවත් කියන්නෑ. පිටින් බලලා අපිට මොකුත් තීරණය කරන්න බැහැ. ජීවිතය දුක, අසරණකම හැමදේම දන්නේ එයාලා විතරයි. ඒත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. ප්‍රශ්න ආව පළියට විවාහය කඩාගන්න ඕනෑ නැහැ.
නිලුක්‍ෂි වෘත්තියෙන් නිළියක්ද...?
දැනට වෘත්තියෙන් නිළියක්.
වෘත්තියෙන් නිළියක් වුණාම චරිත තෝරාබේරා ගැනීමකින් කරන්න අපහසුයි නේද...?
ඔව්. අපහසුවක් තියෙනවා. ඒත් ජීවිතේ හැමදේම සල්ලිවලට යට කරන්න ඕනෑ නැහැ. මම චරිතයක් භාරගන්නකොට ප්‍රධාන චරිතයක්ද, උප චරිතයක්ද කියන දේ වැදගත් නැහැ. ඒ චරිතය තුළ යමක් කරගන්න පුළුවන් නම් ඒ චරිතය භාර ගන්නවා.
දිගටම ක්‍ෂේත්‍රයේ ඉන්නවද...?
දිගටම ඉන්න අදහසක් තියෙනවා. ඒත් කඩාගෙන බිඳගෙන යන්නෙ නැහැ. මේ වගේම හෙමින් ගමනක් යනවා.




