-ප්‍රවීණ වේදිකා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නළු රොඩ්නි වර්ණකුල
වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයේම දස්කම් පාන ශිල්පීන් ඇත්තේ අතළොස්සකි. රොඩ්නි වර්ණකුල ද ඒ අතර ඉදිරියෙන්ම සිටී. හාස්‍ය රංගනයේ සිට ඉන් එහා ඉසව් කරා ද විහිදවාලූ හැකි අපූර්ව රංගන කෞශල්‍යයකින් හෙබි මෙම රංගන ශිල්පියාගේ ඔහුටම ආවේණික රංගන රටාව වියත් විචාරකයින්ගේ සේම පොදු ජනතාවගේ ද ඇගයුමට ලක්ව ඇතැයි කීම වැරදි නැත. මෙවර රැජින තුළින් අපි රොඩ්නි සමග කතාබහ කරන්නට සිතුවෙමු.
* රොඩ්නිගේ අලුත්ම තොරතුරු මොනවාද ?
මා රඟපෑ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන “වැඩ බැරි දාස” ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වනවා. එය සතියේ දිනවල රාත්‍රී 7.00ට විකාශය වනවා.
* ඒ කියන්නේ රොඩ්නිත් වැඩ බැරි දාස කෙනෙක්.
මං රඟපාන නම ඒක වුණාට වැඩ බැරි දාස ටෙලි නාට්‍ය බලන හැමෝම නම් කියන්නේ ඒ කතාවේ අනික් පැත්ත.
* ඊට අමතරව රොඩ්නි මොනවද කරන්නෙ ?
දීපාල් අපොන්සුගේ “මාත් එක්කත් නටන්න
එන්න ...” නාට්‍යයේ මංගල දර්ශනය පසුගිය 5 වැනිදා ලුම්බිණියේ වේදිකාගත වුණා. ආනන්ද අතුකෝරාලගේ “හොරු හොඳයි” නාට්‍යය ජූනි මාසයේ වේදිකාගත වේවි. ඊට අමතරව “නරි බෑනා” “සකිසඳ මඩල” “රූකඩ රාජ්ජේ” සහ “මධුර ජවනිකා” නාට්‍ය සමග රට පුරා යනවා.
* රොඩ්නි වැඩි දායකත්වයක් සපයන්නේ වේදිකා නාට්‍යවලට ... ඊට හේතුව සිනමා නිර්මාණ සහ ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා අඩුවීමද ?
මගේ පියාත් ටීටර් නළුවෙක්. පුංචිම කාලෙත් මම පියාගේ ටීටර් පුහුණුවීම් බලන්න ගියා. පාසල් කාලේ පාසල් වේදිකාවට එකතු වුණා. එදත් අදත් මගේ කැමැත්ත වේදිකාවට. ඒ නිසයි මම ඊට වැඩියෙන් නැඹුරු වුණේ. ටෙලි නාට්‍ය සඳහා නම් ඉතින් ඇතැම් ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න වෙනවා. මම කොහොමත් මෙගා ටෙලි නාට්‍යවලට දායකවන්නේ නැහැනේ.
* එතකොට වැඩ බැරි දාස”ත් මෙගා ටෙලි නාට්‍යයක් නේ ?
ඒක කොටස් සීයක ටෙලි නාට්‍යයක්. මෙගා ටෙලි නාට්‍ය ප්‍රතික්‍ෂේප කරන්නේ කොටස් ගණන වැඩි නිසා නමෛයි. ඇතැම් මෙගා නාට්‍ය නිර්මාණය කෙරෙන විදිය මම අනුමත නොකරන හින්දා. නමුත් ජය ප්‍රකාශ් ශිවගුරුනාදන් වගේ අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක් එච්චරම බාල තත්ත්වයකට පත් වෙන එකක් නෑ කියන විශ්වාසය මා තුළ තිබුණා. ඒකයි මම ‘වැඩ බැරි දාස’ එක්ක සම්බන්ධ වුණේ.
* දීර්ඝ ටෙලි නාට්‍ය අතර ඔබ අනුමත නොකරන ඔය කියන බාල තත්ත්වයේ නාට්‍ය මොනවාද ?
ඉස්සර පැය භාගයේ ටෙලි නාට්‍යයක් රූපගත කරන්න දවස් තුනක්වත් ගත වුණා. අද දවසට පැය භාගේ කොටස් තුනක් රූගත කරනවා. ඒ වගේ දඩිබිඩියේ කරන වැඩකින් නිර්මාණාත්මක යමක් එළි දක්වන්න බැහැ. අනික ඒවයේ වැඩකරන නළු නිළියෝ රඟපාන්නේ දවසේ කුලියට, අපේ රටේ අතිවිශාල පිරිසක් දවසේ කුලියට කම්කරු වැඩකරනවා. හැබැයි ඒ අය උදේ 8.00ට ගිහින් හවස 5.00ට සේවය නිම කරනවා. ඒත් මේ වගේ නාට්‍යවල රඟපාන අය පාන්දර 4.00ට පටන් අරගෙන රෑ 10.00 වෙනතුරු තමන්ගෙ රාජකාරිය කරනවා. ඔන්න ඔය හේතු හින්දත් මම ඒ නිර්මාණවලට දායකවන්න කැමැති නැහැ.
* අඩු කාලයක් තුළ වැඩි වැඩ කොටසක් කිරීම හා අඩු කාලයකින් නිර්මාණය අවසන් කිරීම වැරදි නැතැයි තර්ක කරන අයත් ඉන්නවා ?
අඩු කාලයක් තුළ වැඩි වැඩ කොටසක් සාර්ථකව නිම කෙරෙනවා නම් ඒක වැරදි නැහැ තමයි. අඩු කාලයක් තුළ සාර්ථක නිර්මාණයක් කෙරෙනවා නම් ඒත් වැරදි නැහැ. ඒත් ඉක්මනට රූගත කිරීම කළයුතු හින්දා. ‘තිබ්බා ගැහුවා’ ක්‍රමයට රූපගතකිරීම් කරන එකයි අද සිදුවන්නේ. ඒ වගේ ටෙලි නාට්‍යයක රඟපාන්න තියා දර්ශන තලයකට එන්නවත් මම කැමැති නැහැ. මොකද අපි මේ කලාවට ආවේ අනන්ත දුක් විඳලා, අතිමහත් කැපවීම් කරලා. ඒ නිසා කලාව මේ විදිහට බාල්දු වෙනවා දකින්න මං කැමති නෑ.
* ඒත් ඇතැම් ප්‍රවීණයන් පවා මෙගා නාට්‍යවලට දායක වෙනවා නේ ?
ඒක ඒ අයගේ කැමැත්ත. මට ඒකට මොකවත් කියන්න බැහැ. මම ප්‍රකාශ කළේ මගේ මතය. ඒ මතය පොදුවේ හැමෝම පිළිගත යුතුයි කියලා මට කියන්න බැහැනේ.
* ක්‍ෂේත්‍රය තුළ ඇතිවන කලාකරුවන්ගේ පෞද්ගලික ගැටුම්, පවුල් ප්‍රශ්න මාධ්‍ය මගින් එළියට දැමීමෙන් ක්‍ෂේත්‍රය හෑල්ලු වනවා නේද?
ඒවා ඒ ඒ ප්‍රශ්නවලට සම්බන්ධ අයගේ පෞද්ගලික දේවල්. සමහර අවස්ථාවල හමුවන රසික පිරිස මගෙනුත් අහල තියෙනවා. ‘අරයා දික්කසාද වුණාද? මෙයාට ප්‍රශ්නයක් ද’ කියලා ඒ වෙලාවට මම කියන්නේ ඒවා ඒ අයගෙන් අහගන්න කියලා. ප්‍රතිපත්තියක් විදියට මම අනුන්ගෙ දේවල් හොයන්නේ නෑ; ඒවා ගැන කතා කරන්න කැමැතිත් නැහැ.
* නමුත් ඒ පෞද්ගලික දේවල් සමාජයට විවෘත වුණාම නළුවො නිළියෝ මේ වගෙයි කියලා ජනතාව අතර මතයක් ගොඩනැගෙනවා. පෞද්ගලික කුණු කන්දල්වල දුගඳ ක්‍ෂේත්‍රය පුරාම පැතිරෙන විට ප්‍රවීණ කලාකරුවෙක් හැටියට ඔබට බලා ඉන්න පුළුවන්ද?
අපිට කිසිම කෙනෙක්ව හදන්න බැහැ. ඒ අයගෙ පුද්ගලික ජීවිතවල ප්‍රශ්නවලට අත දාන්නත් බැහැ. අපිට තියෙන්නේ අපේ පැවැත්ම සාර්ථකව ගොඩනගා ගැනීම. ඔබ ඔය කියූ ආකාරයට නළු නිළියන් ගැන එක එක ප්‍රතිරූප මිනිසුන් තුළ මැවෙන්න පුළුවනි. නමුත් අපි හරියට හිටියොත් ජනතාව ඒකත් දකිනවා. එතකොට ඒ විදියේ පහත් කෝණවලින් ජනතාව අපි දිහා බලන්නෙ නැහැ.
ආරියවංශ කුලතිලක

