මට එක පාරටම මගේ ‘සර්’ ව මතක් වුණා. ඒ කියන්නේ ප්‍රියංකර විතානාරච්චි මහතා. ඔහු සිටියේ කැනඩාවේ. ‘සැමීගේ කතාව‘ අධ්‍යක්ෂණය කළේ ඒ මහතා.
ඊට පස්සේ මම ආපසු එන අතරේ සහය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය මහතාට කතා කළා. නමුත් මම වාහනය පදවන නිසා ඔහු පැවැසුවා “තව ටිකකින්” කතා කරන්නම් කියලා.
ඊළඟට මට නැවතත් කතා කළේ මගේ ජංගම දුරකතනය අහුලාගත් කාන්තාව. “කැනඩාවෙන් කතා කළ මහත්තයාට කොහොම හරි ඉක්මනට කතා කරන්න. මොකද? ඒ මහත්තයා පුදුමාකාර කලබලයකින් කතා කළේ” කියා ඇය පැවැසුවා. ඒ වෙලාවේ දී තමයි මගේ මනස හරි හැටි අවදි වුණේ. මම වාහනය නවතා ඒ මොහොතේම ප්‍රියංකර විතානාරච්චි මහතාට කතා කළා. එවිට ඇමරිකාවේ වෙලාව අළුයම 3 යි. ‘චමිල මට හරිම සතුටුයි. චමිල නම් වෙලා තියෙනවා ලෝකයේ හොඳම නළුවන් හතර දෙනාට. ඒ වැඩවලට ඔයාට මෙහාට එන්න සිද්ධ වෙනවා” කියලා ප්‍රියංකර විතානාරච්චි මහතා පැවැසුවා.
මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුයි. ‘සැමීගේ කතාව‘ මේ තැනට ගෙනෙන්න විශාල මෙහෙවරක් කළේ විමල් දේශප්‍රිය නැමැති සහය අධ්‍යක්ෂවරයායි. ඒ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියංකර විතානාරච්චි සෙසු නළු නිළියන් , කැමරා සහ කාර්මික ශිල්පීන් සියලු දෙනා පවසන සත්‍යයක්. ඔහුගේ රාජකාරියට එහා ගිය මෙහෙවරක අවසාන ප්‍රතිඵලය තමයි අද අපි අත්විඳින්නේ. ප්‍රියංකර විතානාරච්චි මහතා චිත්‍රපටය නිම කළා. අනතුරුව ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සඳහා කැනඩාවට යන්න සිද්ද වුණා. ඔහු හරහා ඇති කරගත් සංවාද මැද ඉතිරි වැඩ සියල්ල සිදු කළේ විමල් දේශප්‍රියයි.
ඊට පස්සේ මට කතා කරන්න සිදු වන්නේ රවීන්ද්‍ර රන්දෙණිය මහතා ගැන. විමල් දේශප්‍රියගේ උපදෙස් පරිදි රන්දෙණිය මහතා හමුවන්නට ගිය මොහොතේ ඔහුගේ දරුවෙකුට හා සමානව ඉදිරි වැඩ කටයුතු සියල්ල ඉටු කර දෙන්න භාර ගත්තා. ඒ විතරක් නෙවෙයි, උතුරා ගිය සතුටකින් පාවිච්චි කළ වචන මට හිතා ගන්නවත් බෑ. අන්න එතැනදී තමයි මට තේරුනේ මෙම නාම යෝජනාව මේ තරම් විශාල බව. ‘චමිල මේක ලංකාවට ඔබ ලබා දුන් විශාල ගෞරවයක්, අභිමානයක්. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම මම මේ මොහොතේ පටන් ඉටු කරනවා.” රවීන්ද්‍ර රන්දෙණිය මහතා පැවසුවා.
මට නිව්යෝර්ක් නගරයට යන්න අනුග්‍රහය එයාර් ලංකා ගුවන් සේවාවෙන් ලබාගන්න ඔහු පෙනී සිටියා. සමහර ලිපි ඔහුගේ පුතා යවා සකස් කරවා දුන්නා. සුදත් රෝහණ, අරුණ වීරසිංහ යන අය මගේ වීසා කටයුතු වලට ආධාර කළා. ඔවුන් මට වියදම් කළා.
ඒ වනවිට මට සම්මානය ලැබි නැහැ. නාමය නිර්දේශ වීම තුළ පමණක් මොවුන් මට මේ ආකාරයට බොහෝ අවංකව මා වෙනුවෙන් වෙහෙසුණා. අවසාන ප්‍රතිඵලය කුමක් වුවත් ඒ මොහොතේ මාව මහා ජයග්‍රාහකයෙක් විදිහට පිළිගෙන ඔවුන් එය භුක්ති වින්ද ආකාරය ජිවිතේ කිසිදාක මට අමතක වන්නේ නැහැ.
නිව්යෝර්ක් ජාත්‍යන්තර සිනමා උළෙලට මාව අත්‍යවශ්‍ය බව සඳහන් ලිපි එම උළෙල සංවිධායකයින් විසින් එවා තිබුණ නිසා මට වසර පහකට බලපවත්වන පරිදි මල්ටිපල් ට්‍රැවල් වීසා බලපත්‍රයක් කිසිම ප්‍රමාදයකින් තොරව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මගින් ලබා දුන්නා. චිත්‍රපට කර්මාන්තය කෙරෙහි ඇමරිකානු රජය දක්වන විශ්වාසය සහ සහයෝගය මත වෙන්න ඕනේ අපට එවැනි ගෞරවයක් ලබා දුන්නේ.
මාත් සමග සහය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය සහ ඇඳුම් නිර්මාණ ශිල්පි අතුල සුල්තානාගොඩ යන මහත්වරුන් නිව්යෝර්ක් ගියා. ප්‍රියංකර විතානාච්චි මහතා කැනඩාවේ සිට පැමිණියා.
ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව ජුනි 11 වැනිදා මම ලංකාවෙන් පිටත් වන්නට පැය කිහිපයකට කලින් කතා කළා. එහි කෝසල නැමැති මහත්මයෙක් මට කතා කරලා කිව්වා “චිත්‍රපට සංස්ථා සභාපතිතුමා සාකච්ඡාවකින් පසු අවසර ලබා ගත්තා චමිලගේ මේ ගමන වෙනුවෙන් යන සියලුම වියදම් දරන්නට කියලා.”
13 වැනිදා සිනමා උළෙල ආරම්භ වුණා. මෙම උළෙල මුළු ලෝකයටම විවෘතව පැවැත්වූ එකක්. වෘතාන්ත චිත්‍රපට 135ක් මුළු ලෝකයෙන්ම ඉදිරිපත් කර තිබුණා. ඊට අමතරව කෙටි චිත්‍රපට දහසකුත් තිබුණා. මගේ නම නිර්දේශ වීමට ඒ චිත්‍රපට 135 ම අදාළ වුණා. ඒ 135 න් තමයි විනිශ්චය මණ්ඩලය හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, නිළිය, කැමරා ශිල්පියා, සහය නිළිය, සහය නළුවා ඇතුළු අනෙකුත් අංශ සඳහා සම්මාන ලාභීන් තෝරා ගත්තේ
ජුනි 19 වැනිදා වන විට මෙම උළෙලේ චිත්‍රපට ප්‍රදර්ශනය අවසන් කළා. ජුනි 13 වැනිදා සිට 19 දා දක්වා චිත්‍රපට ප්‍රදර්ශනයට අමතරව වැඩමුළු පැවැත්වූවා. එම වැඩමුළු පවත්වන්නට පැමිණියේ ඇමරිකාවේ ඉහළම ගණයේ, ජනප්‍රිය අධ්‍යක්ෂවරුන් , නිෂ්පාදකයින්, කැමරා අධ්‍යක්ෂවරුන් ඇතුළු ප්‍රවීණයින් . මේවා දැවැන්ත වැඩමුළු, චිත්‍රපට නැරඹීම හා වැඩමුළුවලට සම්බන්ධ වීම නිසා අපට හරි හැටි නිදා ගන්නවත් තිබූ අවස්ථාව අඩුයි. නමුත් ඉන් පෙනුනේ මෙම චිත්‍රපට උළෙලේ තිබූ දැවැන්ත කමයි . නිව්යෝක් සිටි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලට නිර්දේශ වූ අනෙක් චිත්‍රපට හා නළුවන් දිහා බලද්දී මට තේරුණා මෙය විශාල තරගයක් බව. නිර්දේශ වූ ඇමරිකානු චිත්‍රපටයේ ප්‍රධාන නළු එඩ්වඩ් හලොන්ස් ඇමරිකානු සිනමාවේ වර්තමාන රංගනයේ විශාල පෙරළියක් සිදු කරමින් ඉදිරියට පැමිණෙන අයෙක්. ඒ වගේම කියුබන් සහ ඩෙන්මාර්ක් නළුවන් දෙදෙනාත් මට වඩා විශාල සිනමා අත්දැකීම් තිබූ අයයි.නමුත් දැවැන්ත නළුවන් මා සමග තරගයට පැමිණ සිටියත් ඒ චිත්‍රපට නරඹද්දී මගේ හිත එක දශමයකින්වත් ආපස්සට ඇදුනේ නෑ. මම කියන්නේ ඔවුන් රඟපෑ, නිර්දේශ වූ චිත්‍රපට ඉතා විශිෂ්ටයි. නමුත් ඔවුන්ගේ රඟපෑම්, එම රඟපෑමට වස්තු විෂය වූ චිත්‍රපට කතාව බැලීමේ දී මගේ හිත පස්සට ගියේ නැති බවයි මට කියන්න අවශ්‍ය. තරගයක් දෙන්න පුළුවන් කියන දැඩි විශ්වාසය මා තුළ ඇතිවුණා. මාව ඔවුන්ට අභිබවා යන්න පුළුවන් කියා මට හිතුනේ නැහැ.
මන්ද ‘සැමීගේ කතාව‘ වෙනුවෙන් මම මහන්සි වූ ප්‍රමාණය, චරිතය වෙනුවෙන් කැපවූ තරම සහ චරිතය චිත්‍රපටයේ ගොඩනගා තිබූ ආකාරය මම දැන සිටියා. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තිබුණා ඔවුන් සමග හැපෙන්න පුළුවන් කියා. එම විශ්වාසය අතහැර දමන තැනක මම කිසිම වේලාවක සිටියේ නැහැ.
පසුගිය කාලයේ බොහෝ දෙනා ඇසුවා “ඔබ දැන් සැමීගේ කතාවේ රඟපා අවසන් . බවට දැන් සිතෙනවද අසවල් අසවල් තැන්වල මීට වඩා ඔබට හොඳට රඟපාන්න තිබුණා කියලා. මම හැමදාමත් කිව්වේ නැහැ. මේ චරිතයේ කිසිම හිඩැසක් මට කොතැනකවත් නැහැ. මට කරන්න පුළුවන් උපරිම දේ තමයි මම කර තිබෙන්නේ. ඒ විශ්වාසය මට පුදුම විදිහට තිබුණා. මම හිතන්නේ මගේ විශ්වාසය සහ කැපකිරීම දැවැන්ත අභියෝගයක් වුණා අනික් නළුවන්ට.
ජගත් චමිලගේ ගලා යන කතාවට මම මොහොතකට බාධා කළෙමි. ඒ මට ඔහුගෙන් ප්‍රශ්නයක් අසන්නට තිබූ බැවිනි.
ජගත් ඔබ දැන් ලෝකයේ හොඳම නළුවා. ඉතා විරලව ලැබෙන අතිශය ගෞරවයක් ඔබ විසින් දිනාගෙන තිබෙනවා. එහෙම නේද?
ජගත් ඊට ලබා දුන්නේ මෙබඳු පිළිතුරකි.
“මෙය ජාත්‍යන්තර සම්මාන උළෙලක් (International). කියලා බොහොම ලේසියට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවනි. නමුත් ඔය වචනයම සිංහලයට පරිවර්තනය කළ විටයි ඔය වගේ ප්‍රශ්නයක් මතු වෙන්නේ. සිංහලෙන් ජාත්‍යන්තර වෙනවා. එවිට ජාත්‍යන්තර සිනමා උළෙලකින් තමයි මට මේ සම්මානය ලැබුණේ. නමුත් මම අර්ථ දක්වන්නේ මෙහෙමයි. මෙය නිව්යෝර්ක් නගරයේ පෙන්වපු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන උළෙලක්. එය මුළු ලෝකයටම විවෘතයි. මම ආසම කරන බොලිවුඩ් නළුවා අමීර් ඛාන්. ඔහුගේ චිත්‍රපටයකුත් සම්මාන උළෙලට ඉදිරිපත් කර තිබුණා. නමුත් එම චිත්‍රපටය කිසිම දෙයකට නිර්දේශ වුණේ නැහැ. හොඳම නළුවා හැටියට මගේ රූපය සටහන් වුණා. සැමීගේ චිත්‍රපට පෝස්ටර් වගේම අමීර්ඛාන්ගේ චිත්‍රපටයේ පෝස්ටරුත් අනෙක් පස ප්‍රදර්ශනය කළා. පෘතග්ජනයෙක් හැටියට ඒ වෙලාවේ මට කල්පනා වුණේ “මගේ ජනප්‍රියම නළුවාට කිසිම සම්මානයක් නොලැබිම ගැනයි“මේ ලැබූ ජයග්‍රහණය පිළිබඳ මගේ අදහස තරමක් වෙනස්. ලෝකයේ හොඳම නළුවන් අතරට පත් වන්න අපට තවත් හුඟාක් දුර යන්න තිබෙනවා. ලෝකයේ හොඳම නළුවන් ගැන කතා කළොත් අපට සිදුවෙනවා ඒ නළුවන් සහ ලෝක සිනමාව අතරේ ගොඩනැගුන දැවැන්ත සම්බන්ධකම් දිහා බලන්න. ඒ අනුව බලන විට ජගත් චමිල කියන්නේ මොන තරම් කුඩා පුද්ගලයෙක්ද කියා ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. ලෝකයේ හොඳම නළුවන් සිටින තැන් හරිම දුරයි. ඒ කැපකිරීම් සිනමා අධ්‍යාපනය ඉදිරියේ අපි තවම කුඩා මිනිසුන්. නමුත් එවැනි උළෙලක් නියෝජනය කරමින් හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මම අතිශය සතුටට පත් වෙනවා. මගේ ප්‍රේක්ෂකයින්ගේ සතුටට මම බාධා කරන්නේ නැහැ. ඔවුන් ලබන පී්‍රතියේ උත්කෘෂ්ටභාවය තමයි මම ලෝකයේ හොඳම සිනමා නළුවා වීම. නමුත් “ලෝකයේ හොඳම නළුවා” වෙන්න නම් මට යන්න තිබෙන දුර මැන ගන්න ක්‍රමයක් අප සතුව නැහැ.
සැමීගේ කතාව තිරගත වන දිනය ගැන ප්‍රශ්නයක්
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී මැයි 20 වැනිදා ලෝකයේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලද ප්‍රියංකර විතානාරච්චි අධ්‍යක්ෂණය කළ ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය ආරම්භ වන්නේ කවදාද යන ප්‍රශ්නය මේ වන විට මතු වී තිබේ. මෙම චිත්‍රපටයේ රඟපෑ ජගත් චමිලට ලොව හොඳම නළුවා සම්මානය හිමිවූයේ රටවල් 40ක් ඉදිරිපත් කළ චිත්‍රපට 135ක් සහ කෙටි චිත්‍රපට 10 ක රඟපෑ දක්ෂ නළුවන් රැසක් අභිබවමිනි.
‘සැමීගේ කතාව‘ වාණිජමය චිත්‍රපටයක් නොවන බව විමල් දේශප්‍රිය පවසයි. ලාබ ලැබිමේ අරමුණින් චිත්‍රපට ප්‍රදර්ශනය සිදුවන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පවතී. ලෝකයේ සම්මාන හිමිවන නිර්මාණාත්මක වෘතාන්ත චිත්‍රපට නිපදවන ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයින් සහ අධ්‍යක්ෂවරුන් මෙම තත්ත්වය යටතේ වඩාත් අසරණ බව දේශප්‍රියගේ අදහසයි. ඒ වගේම එබඳු නිර්මාණවලට අත නොගැසීමට නිෂ්පාදකවරුන් පෙළඹීමේ හේතුවෙන් නිර්මාණාත්මක චිත්‍රපට නිෂ්පාදනය නොවන බවත් එබැවින් ශ්‍රී ලංකාවේ සිනමාවට ජාත්‍යන්තර සිනමා වේදිකාවේ දොර වැසී යන බවත් ඔහු පෙන්වා දෙයි. ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයින්ට කවදා නරඹන්නට හැකි වේදැයි තමන්ට පැවැසිය නොහැකි බව කී විමල් දේශප්‍රිය චිත්‍රපට සංස්ථාව මෙම අවස්ථාවේදී නිර්මාණකරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් පවසයි.
අනුර හොරේෂස්