අවුරුදු 25ක් පමණ.
කලාකරුවා නැමැති සුවිශේෂ පුද්ගලයාව ඔබ විග්‍රහ කරන්නේ කොයි විදියටද?
මිනිසාගේ මනස සුවපත් කරන මුනිවරයෙක් විදියට.
ඔබට ඒ පිළිබඳව යම් උදාහරණයක් දෙන්න පුළුවන්ද..? නැති නම් මේ විග්‍රහය තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද...?
මෙවැනි සියුම් කාරණාවක් උදාහරණවලින් පැහැදිලි කරන්න අසීරුයි. නමුත් වාසනාවට මෙන් ඒ පිළිබඳව හදවතට දැනෙන උදාහරණයක් මට ඉදිරිපත් කරන්න පුළුවන්.
මොකක්ද ඒ උදාහරණය?
පෙර දවසක විශාරද ගුණදාස කපුගේ මහත්තයා අසනීපව අනුරාධපුර රෝහලේ නැවතී සිටියා. මේ අතර ඔහු කිසි දිනක දැක නැති වයසක අම්මා කෙනෙක් ඇඳ ළඟට ඇවිත් කපුගේගේ කකුල් දෙක අල්ලලා වැඳ වැටිල තියෙනවා. කලබල වුණ කපුගේ අනේ අම්මේ ඇයි මේ මට වඳින්නෙ, කව්ද මේ අම්ම මම කවදාවත් දැකලවත් නෑ. මොකක්ද මේකෙ තේරුම කියල අහල තියෙනවා. ඒ අම්ම කියනවලු අනේ පුතේ මම උඹව දන්නව. උඹ තමා මගේ ජීවිතේ බේරුවෙ කියල.
හොයල බලනකොට හේතුව මේකයි ඒ අම්මගෙ පුතා හොඳටම බිගත්තු වෙලාවට මේ අම්මගෙ අත පය කැඩෙන්න ගහනවා. ඔය අතර එක දවසක් හොඳටම බි ගත්තු පුතා මහ රෑ ගෙදර ඇවිත් මේ අම්මගෙ කකුල් දෙක අල්ලල අඬා වැටිල කිව්වලු අනේ රත්තරන් අම්මේ මීට පස්සේ මම උඹට කවදාවත් අතක් උස්සන්නෙ නෑ. මම හොඳට සලකනව කියලා. එදා ඉඳලා මේ පුතා සම්පූර්ණයෙන්ම වෙනස් මනුස්සයෙක් වෙලා අම්මව බලා ගන්නවලු. පස්සෙ දවසක තමයි අම්මට ආරංචි වෙලා තියෙන්නෙ මූ වෙනස් වෙලා තියෙන්නෙ කපුගේ මහත්තයගෙ දවසක්.... පැල නැති හේනේ සින්දුව ඇහුවට පස්සෙ කියල.
කොහෙදිද මිනිහා සින්දුව අහල තියෙන්නෙ...?
බාර් එකක බොන ගමන්.
හොඳයි ඒ තමයි කලාකරුවාගේ භූමිකාව. ඔබ අප රටේ දේශපාලනඥයාගේ භූමිකාව අර්ථ නිරූපණය කරන්නෙ කොයි විදියටද....?
අපි මේ මොහොතේ දකින දේශපාලනඥයින්ගෙන් ඉතා වැඩි දෙනෙක් ළඟ තියෙන්නේ ඔහු ළඟ තිබිය යුතු වීරයගෙ භූමිකාව නමෛයි. දුෂ්ටයාගෙ භූමිකාව. නමුත් වීරයාගේ භූමිකාව සහිත දේශපාලනඥයින් අපට සිටියා. එන්.එම්. පෙරේරා, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි අය.
මෑත භාගයේ විජය කුමාරතුංග වැනි අය. නමුත් තමන්ගෙ දේපොළ පවා විකුණල දේශපාලනයට ආව උගතුන් ධන කුවේරයින් වෙනුවට අද දකින්නට ලැබෙන්නේ රට විකුණා සාක්කුව පුරවා ගන්නා පිරිසක්. එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් පත්තරයක් බලමින් කෝච්චියෙ යන ආකාරයේ දර්ශනයක් අපට කවදාවත් දකින්න නොලැබෙන්නේ ඒ නිසා.
දැන් මොහොතකට පෙර ඔබ විසින් කලාකරුවාව මුනිවරයෙකුට සමාන කළා. ඒ වගේම ඔබ විසින් නිර්මාණය කළ පාර්ලිමන්ට් ජෝක් චිත්‍රපටයෙන් ඔබ මේ දේශපාලන ක්‍රමය මහා ප්‍රහසනයක් බව පෙන්නුම් කළා. දැන් ඒ අනෙක් කලාකරුවන් වගේම ඔබත් ඒ පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටිනවා.
එයට හේතුවක් තිබෙනවා. ඒ තමයි අපි හැමදාම අඳුරට බැණ බැණ සිටිනවාද? නැතිනම් එක පහනක් හෝ පත්තු කරනවාද? මඩගොඩේ නෙළුමක්ව නැගී සිටිනවාද? හැමෝටම ව්‍යසනයක් පවතින මේ තත්ත්වය වෙනස් කරන්න ශක්ති පමණින් දායක වෙනවාද යන කාරණා ගැන සිතා බැලීමෙන් අනතුරුව මා ගත් තීරණය.
ඔබ ඇතුළු දේශපාලනඥයට පිවිසි අනෙක් හැම කලාකරුවෙකුගේ අරමුණ එයමද...?
කලාකරුවන් කවදාවත් එක අරමුණක හිටියේ නැහැ.
රන්ජන් රාමනායක නැමැති සිනමා කලාකරුවා දේශපාලනයට යොමු වුණේ කොයි ආකාරයටද?
විජය කුමාරතුංග මහතා නිසා. ඔහු නෑකමින් මට මාමා වීමත් මේ සමීප ඇසුර දියුණු වීමට හේතුවක් වුණා. ඔහු ඒ කාලයේ තිබූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඒකාධිපති පාලනයට එරෙහිව ඉතා නිර්භීතව සටන් කළ අයෙක්. ඒ ආකර්ෂණීය සටන් දුටු මා මහජන පක්ෂයේ සාමාජිකයෙක් වුණා.
ඔබේ දේශපාලන වීරයින් කව්ද...?
ස්පාටකස්, ටෝගා, යුනිකෝ, ච්ෙ ගුවේරා, බොබ්මාලේ, වික්ටර් හාරා, විජය කුමාරතුංග වැනි චරිත. මේ මගේ ජීවිතයට කෙලින්ම බලපාපු චරිත.
විජය කුමාරතුංග ඔබ ඇසුරු කළ චරිතයක්. ස්පාටකස්, ටෝගා, යුනිකෝ ආදීන් ඔබට බලපෑවෙ කොහොමද...?
මේ චරිත කිසිම ප්‍රතිලාභයක් බලාගෙන වැඩ කරපු චරිත නමෛයි. ඔවුන් හැම විටම තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළේ ජනතාව වෙනුවෙන්. ච්ෙ ගුවේරා තමන්ට ලැබුණු කෘෂිකර්ම ඇමැතිකම දාලා බොලිවියාවෙ විප්ලවය කරන්න ගිහින් වෙඩි කනවා. මම ආකර්ෂණය වුණේ ජනතාව වෙනුවෙන් සටන් කරලා. මම කැමැති වුණේ ජනතාව වෙනුවෙන් ඒ වගේ වෙඩි කන චරිතවලට. මගේ දේශපාලන ගමන් මගට පන්නරය ලැබුණේ ඒ අයගෙ ආකල්පවලින්.
නමුත් ඔබේ පරම්පරාවේ කලාකරුවන් බොහෝ දෙනෙක් පවතින හැම රජයකටම කඩේ යන තත්ත්වයකට පත්වෙලා නේද..? මොකක්ද එයට හේතුව..?
මේක ඉතිහාසෙ පුරාම සිද්ධ වුණ දෙයක්.
අපි වර්තමානයට ඇවිත් කතා කරමු. මොකද ඔබ සඳහන් කළ පරිදි ඒවාට අහු නොවුණු කලාකරුවන් දේශපාලනඥයින් ලෝකයේ සිටියා. අපේ කතාව දැන් කඩේ යන අය ගැනයි.
මෙය ඉතාමත් සියුම්ව විග්‍රහ කළ යුතු කාරණයක්. ඉන් පළමුවැන්න තමයි කලාකරුවෙක් විදියට තමන් තුළ තිබෙන පුරුෂාර්ථ. ඒ පුරුෂාර්ථ වරදාන, වරප්‍රසාද, මුදල් හදල් ගෙවල් දොරවල් ඉදිරියෙ දෙකට නැමෙන එකක් වුණහම ඔවුන් මේ තත්ත්වයට පත් වෙනවා..
දේශපාලන නායකයින් ළඟට යන කලාකරුවාගේ මූලික ඉල්ලීම මොකක්ද? අනේ අපිට පර්චස් 10ක් දෙන්න. වාහනයක් ගන්න ලක්ෂ 14 දෙන්න. දුවට පුතාට ජොබ් එක්ක දෙන්න වගෙ කාරණා, කවුරුත් සිනමා ගැන කලාව දියුණු කරන්න කතා කරන්නෙ නෑ.
දෙවැනි කාරණය ඒ කියන දේවල් ලබා ගන්න බැරි විදියෙ ආර්ථික ප්‍රශ්නවලින් ඔවුන් පෙළෙන්නට වීම. එතකොටත් මේ වරප්‍රසාදවලට ඔවුන් නිකම්ම යටත් වෙනවා.
කලාකරුවොත් මනුෂ්‍යයින් නේද...? ජීවත් වෙන්න විදියක් නැති නම් තමන්ගේ කීර්තිය මේ විදියට අලෙවි කිරීමෙන්වත් යමක් හොයා ගැනීම වරදක්ද..?
වරදකට වඩා මේක භයානක තත්ත්වයක්...
මොකක්ද ඒ භයානකකම...?
ඒ තමයි ආණ්ඩුවකට කඩේ ගිය කිසිම කලාකරුවෙකුට ආපසු හැරෙන්නට නොහැකි වීම. තත්ත්වය ඉතා හොඳින් ඒ ගොල්ල දන්නව.
ඇයි මොකටද ඔවුන් ආපහු හැරෙන්නෙ...?
එදා ඉඳලා රැවුල කපන්න, පවුඩර් දාන්න, ඔළුව පීරන්න, කණ්ණාඩිය ඉස්සරහට ගියාම ඔවුන්ට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනව. එතෙන්දි තමයි ආපහු හැරෙන්න හිතෙන්නෙ.
මොකක්ද ඒ....?
ඒ තමයි තමුන් මාධ්‍ය ඔස්සෙ කොයි තරම් කයිවාරු ගැහුවත් තමන් කළ කී දේ ගැන, ගහපු ගැහිලි ගැන, කළ පාවාදීම් ගැන 'නිවට වීම ගැන කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේම රූපය තමන්ගෙන් ප්‍රශ්න කරන්ට පටන් ගැනීම. තමන් තුළ තිබි නැතිවුණු ආත්මය හොල්මන් කරන්නට පටන් ගැනීම.
ඔබ මේ රටේ අංක එකේ සිනමා තාරකාවක්. ඉතින් ඔබටත් කඩේ යාම සඳහා ආරාධනාවක් නොලැබුණා වෙන්නට බැහැ නේද...?
ඇයි නොලැබුණේ. ඒ ආරාධනාව මටත් ලැබුණා. විශාල මුදල් කන්දරාවක් සහ වෙනත් වරදාන රැසක් සමග.
ඒ කොපමණ මුදල් කන්දරාවක්ද..? මොන විදියේ වරප්‍රසාදද..?
මුදලින් රුපියල් කෝටි 10ක්. යාන වාහන සහ ගෙයක් දොරක් සමග.
කෝටි 10 ක් යනු සුළු මුදලක් නොවෙයි. ඇත්තම කියන්න ඔබට එය ලබා ගන්න සිතුණෙම නැතිද?
නැහැ. මට ඊට වඩා වටින කට්ටියක් සිටිනවා. මට ඒ අය මතක් වුණා..
කව්ද... ඒ...?
මම කලින් කියපු ටෝගා, ස්පාටකස් ච්ෙ ගුවේරා විජය කුමාරතුංග වගෙ අය, ඒ නිසා මට ඒ ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කරන්නට තරම් ශක්තියක් තිබුණා.
නමුත් මුදල මුල් කරගත් මේ දේශපාලන ක්‍රම වේදය සහිත සමාජයේ ඔබට පමණක් දිගින් දිගටම උඩු ගං බලා පිහිනන්නට පුළුවන් වේවිද..? මොකද අද ටෝගලා ස්පාටකස්ලා ඉතා දුර්ලභයි
පුළුවන් ඒ සඳහා මට ශක්තිමත් ආයුධයක් තිබෙනවා.
කුමක්ද ඒ ආයුධය. ?
ඒ තමයි අල්පේච්ඡතාවය
ඔබේ අල්පේච්ඡ ජීවිතය සැකෙවින් සඳහන් කරන්න..
මට බිරිඳක් නැහැ. ඒ නිසා දරුවන්ට පාසල් හොයන්න, ස්කූල් පීස් ගෙවන්න නැහැ. ලොකු ගෙයක් හදන්න සිහිනයක් නැහැ. මගෙ කියල පර්චස් එකක්වත් නැති මිනිහෙක්. දෙමව්පියන්ගෙන් ලැබුණු අක්කර බාගෙයි, ගේයි හම්බවෙලා සුමානයක් ඇතුළත යාළුවෙකුගෙ උවමනාවට උගස් තියල සින්න කර ගත්ත මිනිහෙක් මම. ඒ වගේම වාහන පර්මිට් එක විකුණල ඒ සල්ලිත් මැද පෙරදිග වැඩවලට වියදම් කරල ඉවරයි.
ඔබේ ගමන් මග වුණු සිනමාව ගොඩගැනීම සඳහා ඔබේ දේශපාලන ගමන් මගේ ඉඩක් නැද්ද...?
රටේ සමස්තය ගත්තම අපේ සිනමාවට තියෙන්නෙ ඉතා කුඩා දෙයක්. ඒ ගැන මැතිවරණ වේදිකාවෙ මම කතා කළේම නැහැ. ලක්ෂ 18ක් වන මැද පෙරදිග ගෘහ සේවිකාවන් ගැන කතා කිරීම ඊට වඩා ප්‍රයෝජනවත් කියල මම හිතනවා.
ඔබ නිර්මාණය කළ සිනමා කෘති දෙස බලද්දී ඔබ එහි දුෂ්ට දේශපාලනඥයා විවරණය කරන්නේ ඉතා සරල ලෙස. ඒ කියන්නේ පාරේදී අල්ලාගෙන තලන්නට පුළුවන් මිනිසෙක් ලෙස. නමුත් දේශපාලන භූමියට අවතීර්ණවීමෙන් පසු ඔබට තේරෙනවාද ඔහු ඊට වඩා සංකීර්ණ බව...? වීරයින්ට උවමනා ලෙස තලන්නට බැරි බව.. ?
මා ඔබේ මතයට එකඟ නැහැ. මා ඒ චිත්‍රපටවලින් දුටු ජනතා නැගිටීමේ සිහිනය ලොව තැනින් තැන සිදු වී තිබෙනවා. ලිබියාව, ඉරාකය වැනි රටවල් එයට උදාහරණ.
චිත්‍රපට සංස්ථාව ගොඩගන්න කියා බාර දුන්නොත් අරගන්නවාද..?
ඉතා පැහැදිලිවම නැහැ. .මට තනතුරක් දරන්න බැහැ. මම බොහොම නිදහස් සැහැල්ලු මිනිහෙක්. කොටින්ම කියනව නම් ගෙදරින් එළියට බහින කොට එන්නෙ කීයටද කියල කවුරුවත් අහනවටවත් මම කැමැති නෑ.
තිස්ස ප්‍රේමසිරි



