එරබදු මල් පිපෙන, කොහෝ ගී ඇසෙන, රබන් හඬ නැගෙන අවුරුදු උදාවකට රටම සූදානම්. උදාවන නව අවුරුද්දේ දාහක් බලාපොරොත්තු හැමෝගෙම හිත්වල උතුරනවා ඇති. අපේ කලා ලෝකේ හිතවතුන් හිතවතියන් තුළත් ඒ විදියේ බලාපොරොත්තු රාශියක් ඇති. ඒ හින්දා අපි හිතුවා කලා ලොවේ කිහිප දෙනෙකුට කතා කරලා ඒ අයගේ හිත්වල තියෙන නව අවුරුදු පැතුම් ගැන අහන්න.
රොෂාන් රණවනනව වසරින් පසුව මා රඟපෑ “හිම පියලි“ ටෙලි නාට්‍යයයි, “ස්පන්දන” චිත්‍රපටයයි
ප්‍රේක්ෂකයින් අතරට ඒවි. ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයකට දායකවීම හැමදාම මගේ හිතේ තිබුණු හීනයක්. මේ අවුරුදු උදාවෙත් ඒ හීනය අලුත් වේවි. වසර තිහක කුරිරු යුද්ධයෙන් පීඩනයට පත් වූ අපේ රටට අද සාමය උදාවෙලා. යළි කවදාවත් ඒ සාමය අහිමි නොවේවා කියලා මේ අවුරුදු උදාවේ ප්‍රාර්ථනා කරනවා. පුද්ගලික ජීවිතයේ නම් විශේෂිත ප්‍රාර්ථනා නැහැ. සතුටින් ජීවිතය ගෙවී යාවි.
ධනංජය සිරිවර්ධන
මට නම් නව වසරේ ප්‍රාර්ථනා ගොඩයි. මම රඟපෑ චිත්‍රපටයේ වැඩ මේ වසර උදාව සමග සම්පූර්ණවනවා. රඟපෑ ටෙලි නාට්‍ය කීපයක්ම විකාශය වීම ආරම්භ වෙනවා. ඒ වගේම මම සිනමා තිර නාටකයක් රචනා කරමින් සිටිනවා. එය සිනමා නිර්මාණයක් බවට පත්කිරීමත් මේ වසර උදාවේ මගේ හිතේ තිබෙන ප්‍රාර්ථනාවක්. පෞද්ගලික ජීවිතය ගැන කියනවා නම් දැන් මා කලාවට ඇවිත් අවුරුදු 10 යි. මේ වසර 10 තොරතුරු ඒකරාශි කරලා මගේ වබේ අඩවියක් නිර්මාණය කිරීමට මා අදහස් කරගෙන සිටිනවා. කාර්ය බහුලකමත් එක්ක පෞද්ගලික ජීවිතේ වෙනත් බලාපොරොත්තු නැති තරම් . උදාවූ නව වසර මුළු රටටම සාමය සතුට පිරුණු සුබ නව වසරක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.
ශ්‍රියාණි අමරසේන
ටෙලි නාට්‍යයක් කරන්න අවශ්‍ය පිටපත් නිෂ්පාදකවරු මා සතුයි. ඒත් අද ටෙලි නාට්‍ය කරලා පෙන්වා ගන්න විදියක් නෑ. ඒ හින්දා පසුගිය කාලය පුරා මා ඒකාංගික නාට්‍ය කළා. මේ නව වසර උදාවත් සමග මා නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ “අවුරුදු කුමාරි” ඒකාංගික අවුරුදු ටෙලි නාට්‍යය විකාශය වේවි. අරවින්ද දොඹගහවත්ත, දිලිණි මද්දුමගේ, කසුන් සිගේරා ඒෂානිද සොයිසා සමග සමන්ති ලැනරෝල් මෙහි රඟපානවා. රජිව් ආනන්ද සහ නිශාන්ත වීරසිංහ නිර්මාණය කළ නවතම ටෙලි නාට්‍ය දෙකත් නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයක් තුළින් මේ වසරේ මම ප්‍රේක්ෂකයින් වෙත එනවා. උදා වූ නව වසර රටට, කලාවට මගේ පවුලේ අයට මගෙ රසික පිරිසට සුබම සුබ නව වසරක්
වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
විජය නන්දසිරි
පසුගිය වසරේ මගෙ දූ විවාහ වෙලා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඒක දුකක් වගේම සතුටක්, මේ වසරේ අවුරුදු සමරන විට එය තදින් දැනේවි. උදාවන නව වසරේ දී මා රඟපෑ චිත්‍රපට 2ක් තිරගත වීමට නියමිතයි. ජේ. ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ “කෝමා නෝමා” චිත්‍රපටය සහ රෝයිද සිල්වා අධ්‍යක්ෂණය කළ “ඉට්ස් අ මිඩ්ස් ඔෆ් ලව්” චිත්‍රපට දෙක වගේම මගෙ නව නිර්මාණ මේ වසරේ ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබේවි. “බල්ලොත් එක්ක බෑ” නාට්‍ය සමග විදෙස් සංචාරයක යෙදීමටත් නියමිතයි. සෑම සතියකම වාගේ වේදිකා නාට්‍ය සමග රටවටා යාමට සිදුවනවා. “බල්ලොත් එක්ක බෑ” “දෙයියොත් දන්නෙ නෑ” “රූකඩ රාජ්ජේ” වැනි නාට්‍ය සඳහා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මේ සියලුම කරුණු සමග මේ නව අවුරුදු උදාවේදී මම ගොඩක් කාර්ය බහුල වේවි. උදාවන නව වසර ජනතාවටම සතුට සාමය සපිරි වාසනාවන්ත වසරක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා
දිල්හානි ඒකනායක
මේ උදාවන වසර මට ටිකක් කාර්යබහුල එකක් වේවි. බාරගත්තු අලුත් චිත්‍රපට තුනක්ම රූපගත කිරීම් කෙරෙන්න නියමිතයි. මා රඟපෑ චිත්‍රපට 6 ක් විතර තිරගත වීමට තියෙනවා. වීදියබණ්ඩාර ටෙලි නාට්‍ය නිමාවුණා. මම කොහොමත් ටෙලි නාට්‍ය රඟපාන්නේ තෝරා ගැනීමක් මත හින්දා අලුත් ටෙලි නාට්‍යයන් තෝරා ගන්නේ මේ දවස්වල ලැබුණු පිටපත් කියවීමෙන් පසුවයි. පුද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් පුතා උසස් පෙළට මුහුණ දෙන්නේ මේ වසරේ. එයාව උනන්දු කරවීමට තමයි මේ දවස්වල වෙහෙසෙන්නේ . ඔන්න ඔය විදියට තමයි මේ නව අවුරුද්ද උදා වුණේ. උදාවූ නව වසරේ මමත් රටටම සුබ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මිනිස් ජීවිතයක් ලබන්න ලෙහෙසි පහසු නැති බව බුදු බණෙත් සඳහන් වනවා. ඒ හින්දා මිනිස්කමේ වටිනාකම හැම මනුෂ්‍යයකුටම දැනේවා කියලත් මේ මොහොතේ මම ප්‍රාර්ථනා කරනවා
නිමන්ති පෝරගේමා රඟපෑ ටෙලි නාට්‍ය දෙකක් හා චිත්‍රපටයක් ලැබූ නව වසරේදී ප්‍රේක්ෂකයින් අතරට ඒවි. අලුත් නිෂ්පාදනයට සියල්ල සූදානම්. ඒ වුණත් මේ පවතින වාතාවරණය තුළ නිර්මාණ පෙන්වා ගන්න විදියක් නැතුව ඉද්දී අලුත් එකකට අත ගහන එක ටිකක් පමා කරලයි තියෙන්නේ. පුතා දැන් ලයිසියම් එකේ එක වසරේ ඉගෙන ගන්නවා. පුතයි සැමියයි එක්ක සතුටින් ජීවිතය ගෙවා දැමීම තමයි මගෙ ලොකුම අවුරුදු පැතුම . පවුලේ සාමය සමගිය නැතිනම් ලෝකෙම ලැබුණත් මට වැඩක් නැහැ. පවුලට වගේම රටටත් සාමය සතුට පිරී ගිහින් මිනිසුන් තුළ අද ඇති කුරිරු ගති නැතිවී යහපත් ගතිගුණවලින් පිරී ගිහින් සුබවාදී නව වසරක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ආරියවංශ කුලතිලක

