ක්‍රිෂ් උපන් දේශය ගැන සඳහන් කරලාම මේ කතාබහ පටන් ගනිමු
මගේ අම්මා එංගලන්තයේ. තාත්තා ප්‍රංශයේ. මම ඉපදුනේ ප්‍රංශයේ හැබැයි මම යුරෝපීය රටවල් කිහිපයකම ජීවත් වුණා. අධ්‍යාපනය ලැබුවා.
නළුකමට එකතු වුණේ කොයි විදියටද?
මට අවුරුදු 13දි විතර එක්තරා ප්‍රංශ චිත්‍රපටයකට ළමා ශිල්පීන් තෝරා ගන්නා කණ්ඩායමක් අපේ පාසලට ආවා. මාවත් එහිදී එම චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකට තේරුණා. ඒ අවස්ථාවේ තමයි කවදා හරි නළුවකු වනවා කියන හීනය හිතට ආවේ. ඒත් මවුපියෝ ඒකට තදින්ම විරුද්ධ වුණා. මගෙ පියා මහාචාර්යවරයෙක්. මව හෘද රෝග වෛද්‍යවරියක්. මම නළුකමට ආසයි කියලා කියන එකටවත් ඒ අය කැමති වුණේ නැහැ. ඒ හින්දා. මම නිහඬව අධ්‍යාපනයේ යෙදුනා. පසු කාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබන අවධියේ අම්මලා හිටියේ ඇමෙරිකාවේ මම ඒ අය දෙන මුදලින් අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතර රැකියාවක් කරල ඒ මුදලින් රංගනය ගැන හැදෑරුවා. ඒත් පසු කාලයේ රැකියාවට යොමු වෙලා කාර්යබහුල වන විට ඒ අදහස ඉබේම යටපත් වුණා.
ඒ යටපත් වූ ආශාව මතු වූ ආකාරය ඒ ඉටු කරගන්න ලංකාවට පැමිණි ආකාරය දැනගන්න කැමතියි.
මට ශ්‍රී ලංකාවේ තරුණියක්් හමුවුණා. මම ඇයව විවාහ කරගත්තා. අපිට පුත්තු දෙන්නෙක් ලැබුණා. ඒ දෙන්නටම මගෙ හැඩරුව තිබුණට දෙන්නම අම්මගෙ පාට. හරියට සිංහල ළමයි දෙන්නෙක් වගේ. අපි ලංකාවට ආවා. හැබැයි ඒ ආවේ සංචාරයකට. ඒත් ලංකාවේ පරිසරය මගේ හිත වෙනස් කළා. යුරෝපයේ වගේ නිදහස සීමා වූ යාන්ත්‍රික පරිසරයක් නමෛයි මෙහෙ තියෙන්නේ. ලංකාවේ මිනිස්සු පරිසරය ස්වභාව ධර්මයට ළඟයි. ඒ සංස්කෘතියේ ගොඩක් දේවල් මගෙ හිතගත්තා. ඒ නිසා එදා නිවාඩුව ගත කරන්න ලංකාවට ආපු අපි දැන් අවුරුදු දහයකටත් වැඩි කාලයක් ලංකාවේ. දැන් මට මේ රට මගේම රට වෙලා.
ලංකාවේ නළුවෙක් වීමට අවස්ථාව ලැබුණේ?
ඒක අහඹු සිදුවීමක්. චන්ද්‍රන් රත්නම්ගේ ෆිල්ම් ලොකේෂන් එකෙන් කරන දැන්වීම්, හා විවිධ නිර්මාණවලට විදෙස් ජාතිකයන් අවශ්‍ය වෙනවා. ඒ නිසා එවැනි අවස්ථා සඳහා දායකවන්න අවස්ථාවක් අහම්බෙන් මට උදා වුණා. ඉන් පසුව දිගින් දිගටම ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට අවස්ථා ලැබුණා.
මතෛක් රඟපෑ චරිත අතරින් වඩාත්ම ප්‍රිය කරන රංගනය කුමක්ද?
බර්ට්‍රම් නිහාල්ගේ “අමරපුරය” ටෙලි නාට්‍යයේ කළ චරිතයට මම ගොඩක් කැමතියි. කෝටිපති ඇමෙරිකානු තරුණයෙක් ලංකාවට ඇවිත්
පැවිදිවනවා. ඒ චරිතය සඳහා ආරාධනා ලැබුණම මුලදී මම බය වුණා. මම යුරෝපීය ජාතිකයෙක්. කතෝලිකයෙක්. බෞද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ඇවතුම් පැවතුම් හැසිරීම් රටා මම දන්නේ නැහැ. හරියට ඒ දේ මතුකරන්න ඒ ගැන හදාරන්න ඕනෑ නිසා සති කිහිපයක් මම පන්සලක නැවතිලා හිටියා. ටෙලි නාට්‍යය විකාශය වූ පසුව මාව මුණගැහුණු එක රසිකයෙක් ‘අපි හිතුවේ ඇත්තම සුදු ජාතික හිමිනමක් මේ චරිතය රඟපෑවා කියලයි. ඒ චරිතය කළේ ඔයාද?” කියල ඇහුවා. ඒ වෙලාවේ ඇතිවූ සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ.
ක්‍රිෂ්ට භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද?
ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, නෙදර්ලන්ත(ඩච්) ඉතාලි සහ ස්පාඤ්ඤ භාෂා ගැන හොඳ දැනීමක් තියෙනවා. සිංහල හා හින්දි කතා කරන්න පුළුවන්. ලියන්න බැහැ. ගොඩක් දෙනා කියනවා මම හොඳට සිංහල කතා කරනවා කියලා. ඒත් මගෙ සිංහල උච්චාරණය ගැන තවමත් මට සතුටු වෙන්න බැහැ.
ක්‍රිෂ් හින්දි සිනමාවටත් එක්වී සිටිනවා නේද?
ඔව්, මිඩ්නයිට් චිල්ඩ්රන්, රොබෝ චිත්‍රපටවල රඟපෑවා. ක්‍රිෂ්-3 චිත්‍රපටයේ රිතික් රෝෂන් රඟපාන සුපිරි වීරයා සමග තරග වදින දුෂ්ඨයකුගේ චරිතයක් රඟපානවා.
රඟපාන්නට ආශා කරන චරිතයක් එහෙම තියෙනවද?
මම විවිධ චරිත. රඟපෑවා. ඒ හැම චරිතයක්ම යුරෝපීය ජාතිකයින්ගේ චරිත මගෙ හම කළු කරලා බොරු කොණ්ඩයක් දාලා. මගෙ නිල්පාට ඇස් වෙනුවට කළුපාට ලෙන්ස් පාවිච්චි කරල සරමයි බැනියමයි ඇඳගෙන ගමේ ඉන්න මනුස්සයකුගෙ චරිතයක් රඟපාන්න ආසයි. මට ඒක කරන්න පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා.
ආරියවංශ කුලතිලක
