විශ්ව කොඩිකාර සමග කතාබහක්
මේ දිනවල කොළඹ රීගල් ප්‍රමුඛ සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවන අනුරුද්ධ ජයසිංහගේ “බෝම්බ සහ රෝස” චිත්‍රපටයේ නිර්මාල් විදියට අපට හමුවන කඩවසම් යෞවනයා අපට නුහුරු කෙනෙක් නමෛයි. සිනමා තිරය වගේම මේ වන විට පුංචි තිරය තුළිනුත් ඔහු ඔබගේ ආලින්දයේ මිතුරකු වී අවසානයි. කාලෙකට පසුව අපි විශ්වට කතා කළා. කලා ජීවිතය ගැනයි පෞද්ගලික ජීවිතෙ නවතම තොරතුරු ගැනයි විස්තර කරමින් විශ්ව අපේ කතාබහට එකතු වුණේ සුපුරුදු ලෙන්ගතුකමින්.
මොනවද විශ්වගේ අලුත් තොරතුරු?
මේ දවස්වල ‘බෝම්බ සහ රෝස’ චිත්‍රපටය තිරගතවන නිසා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. අලුත් චිත්‍රපටයකටත් ළඟදී දායක වේවි. සතුටින් ජීවිතේ ගෙවිලා යනවා.
විශ්වගෙ පූර්ණ කාලයම කැපවෙලා තියෙන්නෙ නළුකමට?
ඔව්. මම මේ ක්‍ෂේත්‍රයේ නියැළිලා ඉන්නෙ ගොඩක් ආසාවෙන්. ඒ හින්දා සම්පූර්ණ කාලයම නළුකමට තමයි මුල්තැන දීලා තියෙන්නෙ.
ලංකාවේ කලාව වෘත්තීය මට්ටමට පවත්වාගෙන යාම අසීරු බවයි බොහෝ අයගේ මතය?
ඉතාම අඩු ආදායම් ලබන පවුල් අතරත් සමබර ආර්ථිකය ගෙන යන අය ඉන්නවා. ආර්ථික ගැටලු ගොඩකට මුල ආදායමයි වියදමයි අතර තියෙන නොගැළපීම. මගේ ආදායම රුපියල් 1000 නම් ඊට සරිලන විදියේ වියදම් රටාවක් හදාගන්නත් මගේ ආදායම රුපියල් 10,0000 නම් ඒ අනුව අවශ්‍යතා පිරිමසා ගන්නත් මට පුළුවන්. ඒ හින්දා ඔය කියන ප්‍රශ්න මට බලපාන එකක් නැහැ. ද විශ්ව ගොඩක් ගැඹුරින් හිතන කෙනෙක්ද? ඇත්තෙන්ම ඔව්.
බෝම්බ සහ රෝස චිත්‍රපටයේ ‘නිර්මාල්’ සහ විශ්ව අතර සමානකම් නැද්ද?

කොහෙත්ම නැහැ. හරිම සරලව එදා දවස ගැන හිතන කෙනෙක්. ඔහු හරිම සරලව හිතන දඟකාර සැහැල්ලු තරුණයෙක්. මම ඊට වඩා හාත්පසින්ම වෙනස්. මම කොයිතරම් සීරියස්ද කියනවා නම් කෑමට බිමට දීලා තියෙන්නේ තුන්වැනි තැන.
පළවෙනි සහ දෙවැනි තැන දීලා තියෙන්නේ මොනවටද?
පළමු තැන මගෙ කලා කටයුතුවලට. දෙවැනි තැන මගෙ ජීවිතයේ එදිනෙදා වැඩ රාජකාරිවලට.
නොකා නොබි වුණත් කරන වැඩේට මුල්තැන දෙනවා කියලද ඔය කියන්නේ?
එක දවසක් මට පිටරට යන කටයුත්තකට අවශ්‍ය ලිපි ලේඛනවල කටයුතු වගේකට උදේ 7ට විතර ගෙදරින් එළියට බැස්සා. ඒ ලිපි ලේඛන අවශ්‍ය කටයුතු ඔක්කෝම ඉවර වෙද්දී පහමාරට විතර ඇති. ඒ වෙලාවේ එතැන හිටපු මගේ යාළුවා ඇහුවා “තව දවල්ට කෑවේ නැහැ නේද?” කියලා. එතකොට තමයි මට මතක් වුණේ දවල්ට තියා උදේටවත් කෑවේ නැතුව වතුර උගුරක්වත් නොබි නේද මම ඉන්නෙ කියලා. මොකක් හරි වැඩකට බැස්සම මට කනබොන එක අමතකවෙලා යනවා.
කාර්යබහුල ජීවිතේට අත්වැලක් සපයා ගන්න දැන් කාලය හරි නේද?
(හිනැහී) ගෙදරිනුත් ඔය ගැන නම් කියනවා තමයි.
විශ්වගේ ගෙදරින් විශ්වට මනමාලියෝ හොයනවා කියලා ආරංචියි. ඒක ඇත්තද?
ගෙදරින් ඔය අදහස කියනකොට මම කිව්වා ගෙදරට ඕන කෙනෙක් හොයන්න කියලා. ඒ හින්දයි ඔය විදියේ ආරංචියක් පැතිරෙන්න ඇත්තේ.
බොහෝ තරුණයන් තමන්ගේ මනමාලියන් තමන් විසින්ම හොයා ගනිද්දී විශ්ව ඇයි යෝජිත විවාහයක් ගැන හිතුවේ?
යෝජිත විවාහයක්ද, ප්‍රේම විවාහයක්ද කියලා තීරණය කරලා නැහැ. ගෙදරින් මට සුදුසු කෙනකු තෝරලා දුන්නොත් එයාව ආදරයෙන් බාර ගන්නවා. මට සුදුසු කෙනෙක් හමුවුණොත් මම ඒ ගැන ගෙදරට කියනවා.
නිළියන් අතරේ ඔය හිතන විදියේ කෙනකු හමුවෙලා නැද්ද?
මාත් එක්ක එකට වැඩ කරන නිළියෝ විතරක් නමෛයි, නළුවෝ, කාර්මික ශිල්පීන් හැමෝම එක්ක ගොඩක් හිතවත්වෙලා වැඩ කරන්නයි මම කැමති. දර්ශන තලයට ගියාම මම මේ හැමෝම එක්ක සතුටින් සැහැල්ලුවෙන් කටයුතු කරනවා. නිළියන්ට කියලා විශේෂයක් නැහැ. මේ වෙද්දී කැමරාව ඉදිරියේ නම් නිළියෝ කිහිපදෙනකුටම පෙම් කරලා තියෙනවා. හැබැයි සැබෑ ජීවිතේදී නම් කිසිම නිළියක් ගැන හැඟීමක් ඇතිවෙලාම නැහැ.

