කලා ලොව හැමදාමත් හිරු උදාවන්නේ උණුසුම් පුවත් රැසක් සමඟිනි. ඒ අතරින් පෙම් බැඳුම්, විවාහ උත්සව සුවිශේෂය. 2012 වසර උදාවෙද්දීම පැතිරුණු ආරංචිය තමයි ජනප්‍රිය යොවුන් තාරකා රැසකටම වසර මැදදී මංගල සීනු හැඩවෙන බව...
ඒ පුවත යථාර්ථයක් කරමින් 2012 වර්ෂය කලා ලොව වර්ණවත් කරන මංගල උත්සව වලින් පිරීගියා... මේ මංගල උත්සවවල උණුසුම හෙමිහිට මැකී යද්දී කලාලොව පෙම් බැඳුම් රැසක් බිඳීගිය පුවත් තටුලබා ඉගිලුණ අයුරු, සැනෙකින් බිඳුණු පෙම්බැඳුම් වල චෝදනා සිත රිදවද්දී අපේ රසික රසිකාවියන්ට උණුසුම්ම උණුසුම් සුබ ආරංචියක් ගෙනෙන්නට 2013 වසර වාසනාවන්ත වෙලා. ඒ තමයි අපේ සුපිරි තාරකාවන් තිදෙනෙක්‌ම මව් පදවියට සූදානම් වන වග.
උරේෂා රවිහාරි, පබෝධා සංදීපනී, පූර්ණිකා පීරිස් මේ තමයි කුළුදුලේ මව් පදවිය සූදානම් වන අපේ යොවුන් තාරකාවන්. කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දූවරුන් වී කලාවට දායාදවුණ මේ අපූරු හැකියාවන් ඇති තාරකවියන් දැන් සූදානම් වෙන්නේ කලාවට එවන් වූ සුපසන් දායාදයන් බිහිකරන්නටදැයි ඔබට සිතෙනවා ඇත.
යෞවනයේ සැහැල්ලුව අත්විඳි මේ සොඳුරු ශිල්පිනියන් මව් පදවියේ ගෞරවාන්විත හැඟුම් දරාගන්නේ කෙලෙසකදැයි විමසන්න අප ඔවුන් ඇමතුවා.
ඒ හැඟීම වැටහෙන්නේ දැන් - පබෝධා
ඇයත් අපේ රටේ සිටින හැකියාවන්ගෙන් පිරිපුන් ශිල්පිනියක්. චිත්‍රපටයක හඬකැවීම් වලට සහභාගි වන අතරතුරේයි පබෝධාගේ හඬ අවධි කරන්නට අපට අවස්‌ථාව ලැබුණේ.
මේ දවස්‌වල රූගත කිරීම්වලට යන්නෙ නැහැ. ඒත් කලාව සම්බන්ධ පොඩි පොඩි දේවල් වලට සහභාගි වෙනවා. නිකම්ම ගෙදරට වෙලා ඉන්නත් හොඳ නැහැනේ.
අපි පදිංචි වෙලා ඉන්නෙ සැමියාගේ නිවසේ. මගේ සැමියාගේ අම්ම මාව හොඳින් බලාගන්නවා. අපේ අම්මත් නිතරම එනවා මාව බලන්න. අපි පදිංචිවෙලා ඉන්න ප්‍රදේශයේ අයත් මට ගොඩක් ආදරයෙන් සලකනව.
මව් පදවිය ලබනව කියන්නෙ විශාල වගකීමක්. ජීවිතයට එකතු වෙනව කියලයි මට දැනෙන්නෙ. කෙනෙකුගේ ජීවිතයේ බොහෝ දේවල් අම්ම කෙනෙක් වීමත් එක්‌ක වෙනස් වෙනව. තමන් ගැන තියෙන අවධානය සම්පූර්ණයෙන්ම තවත් කෙනෙක් වෙනුවෙන් වෙන්වෙනවා. කාන්තාවකගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ විවාපත්වෙලා දරුවන් ලැබුවම කියලයි මම හිතන්නෙ.
අම්ම කෙනෙක් වෙන්න මොන තරම් වේදනාවක් අපහසුතා ගොඩක් ඉවසන්න වෙනවද කියල තේරුම් ගත්තෙ මේ අත්දැකීම ලැබුණට පස්‌සෙ. ඒත් මොන තරම් අපහසුතා දැනුනත් මේ තරම් ආදරණීය අත්දැකීමක් ලෝකේ තවත් නැහැ.
අපට ලැබෙන දරුව කලාකාරයෙක් වේවිද වෙනත් ක්‍ෂේත්‍රයකට යොමුවේවිද කියල අපි තීරණය කරන්නෙ නැහැ. ඒක ඒ දරුවගෙ අනාගතය එක්‌ක තීරණය වෙන දෙයක්. අපට දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් සතුටෙන් භාර ගන්නව ඒ දරුව හොඳ මිනිසෙක් කරන එකයි අපේ අරමුණ.
දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් සතුටින් භාර ගන්නවා - පූර්ණිකා
මේ දිනවල විකාශය වන ඉසුරු සංග්‍රාමයේ මේධාවි, පූර්ණිකා පීරිස් තමන්ගේ දිවියේ නවමු අත්දැකීම මෙලෙස වචනයකට පෙරලුවා.
"මේ වසරේ අග හරියේදියි බබා ලැබෙන්න නියමිතව තියෙන්නේ. තවම ලොකු වගකීමක් හිතට දැනිල නැහැ. කාලයත් එක්‌ක ඒ වගකීම දැනෙන්න පටන් ගනීsවි. මම සේවය කරන දෙරණ එෆ්. එම්. නාලිකාවෙන් මට ලොකු විවේකයක්, නිදහසක් ලබා දීලා තියෙනවා. සහන්ගෙත් මගෙත් කුළුදුල් දරුවා නිසා අපේ පවුල් දෙකේ හැමෝම ආදරයෙන් ආසාවෙන් මට උදව් කරනවා. කෑම බීම ටික උනත් අම්ම මට හදල ගෙනත් දෙනවා. සහනුයි මමයි නිතරම එකටම ඉන්න නිසා අපට අනාගතයේ බබා බලා ගන්න උනත් පහසු වෙයි කියලයි මට හිතෙන්නේ.
අපේ පවුලට දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් සතුටෙන් බාර ගන්නවා. ඒත් මගේ හිතේ 10% ක විතර දුවෙකුට කැමැත්තක් තියෙනවා. දුවෙක් පුංචි බෝනික්‌කියක් වගේ ලස්‌සනට තියාගන්න පුළුවන් නිසාත් මම හැදුනෙත් සහෝදරියන් එක්‌ක නිසාත් වෙන්නැති ඒ. සහන් නම් එක පයින් කැමැති පුතෙකුට.
මගේ නිවේදන වෘත්තියේ නම් මම දිගටම කටයුතු කරනවා. රඟපෑම ගැන නම් මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉසුරු සංග්‍රාමය මම රඟපාන අන්තිම ටෙලි නාට්‍යය වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.
මේ අත්දැකීම වචනයට පෙරළන්න අමාරුයි- උරේෂා
උරේෂා රවිහාරි නවතම ගීතයක පටිගත කිරීම් වලට යන ගමනේදියි අප හා කතාබහට එළැඹුනේ.
මව් පදවිය කියන්නෙ ලොකු වාසනාවක්. කාන්තාවකට මේ ලෝකෙ ලබන්න පුළුවන් ඉහළම වරප්‍රසාදය මාතෘත්වයයි. හැම මවක් වගේම මමත් ඒ සතුට අත්විඳිනවා. අනික අම්ම කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුට දැනෙන හැඟීම් ඒ අත්දැකීම තුළින් මිස වෙන කිසිම අවස්‌ථාවක විඳින්න පුළුවන්වත් වචනයට පෙරලන්නවත් පුළුවන් අත්දැකීමක් නොවෙයි.
අපේ පවුල්වල අයගේ වගේම කලා ලෝකයේ ආදරය වෙනදටත් වඩා මට දැනෙනවා. ඒ ආදරයත් සතුටක් එක්‌ක ජීවිතයේ සුපුරුදු කලා කටයුතු කරගෙන යනව. මමත් මගේ සැමියත් වෙනම නිවසක පදිංචිවෙලා ඉන්නෙ. එදිනෙදා දේවල් වලට සුපුරුදු විදිහට මුහුණ දෙනව.
අපිට දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් ලැබෙන දේ සතුටින් භාරගෙන සමාජයට හොඳ මිනිසෙක් දායාද කිරීම තමයි අපේ ප්‍රාර්ථනය.
ධම්මිකා සුරංජි පතිරණ